Thursday, January 4, 2018

වෛද්‍ය ධම්මික හේරත්



පේරාදෙනිය වෛද්‍ය පීඨයේ දුලිප් මෙන්ඩිස් ලෙස හඳුන්වන වෛද්‍ය ධම්මික හේරත් පසුගිය වසරේදී මිය ගිය බව අද දිනයේ දැන ගැනීමට ලැබුණා. 1994 වසරේදී මාතලේ රෝහලේදී මට හමුවූ වෛද්‍ය ධම්මික හේරත් ඉතා සොඳුරු මිනිසෙක්. හිතේ කිසිදු කුහක කමක් නොමැති සෑම විටදීම සිනහවෙන් සිටි ධම්මික ගේ මුහුණ මට දැනුත් මැවී පෙනෙනවා. හොඳ මිනිසුන් අකාලයේ මිය යාම ඉතාම ශෝක ජනක දෙයක්. මාතලේ රෝහලේ මම ධම්මික සමග කරන ලද ජෝගි වැඩ මාගලක් සේ ලිවිය හැකියි. ඔහු සිටි තැන නිතරම තිබ්බේ සිනහවයි.

වෛද්‍ය ධම්මික හේරත් සැබෑ මිනිසෙක්. ඔහු වෛද්‍ය පීඨයේදී රාගම පීඑම්සී අරගලයේ හිටියා. නමුත් කුහක සහ ඉරිසියා සහගත ලෙස නොවේ. ඔහු මාතලේ රෝහලේ සේවය කරන විට රාගම පීඑම්සී එකේ වෛද්‍යවරු , විදෙස් වෛද්‍යවරු සහ දේශීය වෛද්‍යවරු සමග කිසිම වෙනසක් භේධයක් නොමැතිව ඉතා සුහදව ඇසුරු කලා. ඔහු තුල පටු බෙදීම් පසුගාමී අදහස් තිබුනේ නෑ. එසේම ලංකාවේ බොහෝ වෛද්‍යවරු තුල නොමැති ගුණාංගයක් ධම්මික හේරත් තුල තිබුනා. එනම් තවත් වෛද්‍යවරයෙකු ලැබූ අධ්‍යාපන හෝ වෙන යම් ජයග්‍රහනයක් දැකීමේදී සතුටු වීම​. එවැනි අවස්ථා වලදී ඔහු අවංකව සතුටුවී තම වෘත්තීය සගයාට සුභ පැතුවා. වෛද්‍ය ධම්මික හේරත් වැනි මිනිසුන් විරළයි.

5 comments:

  1. වෛද්‍ය ධම්මික හේරත් මහතාගේ ඉහත තිබෙන චායාරුපය දකින්නට ලැබීමද සතුටකි. මා විසින් ඔහු හඳුනා ගත්තේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත නගරයට ආසන්න පිහිටි පිඹුර දිස්ත්‍රික් රෝහලට ( දැන් මුලික රෝහලකි,) දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ලෙස ක්‍රි.ව. 2000 හෝ ඊට ආසන්න වසරක පැමිණි පසුය. ඔහු එහි පැමිණීමට වසර 5 කට පෙර සිට මා රෝහල් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කල බැවින් ඔහුගේ පැමිණීමෙන් පසු ඔහු ඇසුරු කිරීමට අවස්ථාව ලැබිණ. එකල රෝහල් කමිටුව තම මුදල්වලින් සහ පරිත්‍යාග ශීලින්ගේ මුදල් වලින් වාර්ෂිකව රෝහල තීන්ත ආලේප කොට පිරිත් පින්කමක් සහ දානයක් දුන් අතර ධම්මික හේරත් මහතාද එම කටයුතුවල මුලිකත්වය ගෙන කටයුතු කළේය . වාර්ෂික තීන්ත ආලේපනය නිසා රෝහල ප්‍රසන්න විය. රෝහලේ ප්‍රසන්න භාවය වැඩි කිරීම සඳහා ධම්මික හේරත් මහතා රෝහල සේවකයන් යොදා ගනිමින් මල් වැවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේය විශේෂයෙන්ම වාට්ටු අතර මල් වැවීම නිසා රෝහලේ ප්‍රසන්න භාවය වැඩි විය රෝහල ඉදිරිපස අලංකාර බුදු මැදුරක්ද ඔහු විසින් ඉදිකරනු ලැබිය. ඒ සඳහා ඔහුගේ පවුද්ගලික මුදල්ද යෙදවූ බව මට මතකය ඔහු පින් කම් වලට යොමු වුයේ මානසික සිත තැවුලකට සහනයක් ගැනීම සඳහා විය යුතුය යන්න මගේ විශ්වාසයයි .සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා අවුරුදු උත්සවයක්ද රෝහල භුමිය තුල පැවැත්වීය එයට රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ගම්වාසීන්ද එකතු වුහ .
    වසර 4 ක් හෝ 5 ක් පිඹුර රෝහලේ සේවය කළ ඔහු හොරණ-කළුතර අතර පිහිටි ගල්පාත රෝහලට ස්ථාන මාරුවී ගිය අතර ඉන්පසු ඔහු මට හමුවුයේ නැත .ඔහු මියගිය බව මට දැනගන්නට ලැබුනේ මරණය සිදුවී කලක් ගත වීමෙන් පමණි. ප්‍රියමනාප පුගලයෙකු වූ ධම්මික හේරත් මහතාගේ අකල් මරණය පිළිබඳව මම අතිශයින් කනගටුවෙමි

    ReplyDelete
  2. අපේ රටේ මිනිස්සුනට ප්‍රායෝගිකව යහපත් මිනිස්සු තෝරා බේරා ගැනීමට බැරි රෝගයක් ඇත.මෙවන් අවාසනාවන්ත රටකදී යහපත්,මහත්මා ගුණයෙන් යුතු තම දරුවන් සොබාදම් මාතාවෝ තමාවෙත යළිත් කැඳවා ගනිති.මන්ද පව්කාරයින් අතර සිටීම ඔවුනට තරම් නොවන නිසා.මම නැවතත් කියමි,ඔව්හු මිය නොගියෝය.සැඳෑ අඳුර සමග සැඟවී ගියෝය.මා අතිජාත මිත්‍ර රුවන්, ඔබ කැනඩාවේ ජීවත්වීම මට සතුටකි.දොස්තර ධම්මික හේරත් මහතාට සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණය සාක්ෂාත් වේවා!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook