Thursday, December 25, 2014

කොන්කිස්තදෝස්: අවරෝධයන කරන ලද වේදනාත්මක මතකය



කොන්කිස්තදෝස්: අවරෝධයන කරන ලද වේදනාත්මක මතකය    

කොලට් සේනානායක හා නාරද කරුණාතිලක  යනු  එක්තරා ආකාරයක විවාදාත්මක ලේඛකයන් දෙපළකි. ඔවුන් ඉතිහාසය හදාරති. අප සැමදෙනා දන්නා සංස්කරණය කරන ලද ඉතිහාසයෙන් එහාට ගොස් ඉතිහාසකරුවන් විසින් සඟවන ලද හෝ කාලයේ වැළි තලාවෙන් යටවී තිබෙන ඉතිහාසය මතුකර ගනිති. ඔවුන් දෙදෙනා විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද "කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම” ග්‍රන්ථය සැඟවී ගිය ඉතිහාසය පෙන්වා දීමකි.  

 ඇතැම් විට සත්‍ය වේදනා හා අලාභහානි ඇතිකරවයි. එම නිසා සැබෑ සත්‍යට වඩා මිනිසා සත්‍යයේ ඡායාව පමණක් ග්‍රහණය  කරගනිමින් වේදනාකාරී  රුදුරු සත්‍යය අවරෝධනය කරයි. මෙය පොදු මානසික තත්ත්වයකි. නමුත් සැබෑ ඉතිහාසය බැහැර කිරීම මගින් අප වර්තමානයද අසත්‍ය මායාවක් බවට පත් කරගන්නෙමු. කොලට් සේනානායක හා නාරද කරුණාතිලක විසින් සම්පාදනය කරන් ලද "කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම”  වෙනස් කරන ලද හෝ අවරෝධයන කරන ලද ඉතිහාසය යළි මතුකර ගැනීමට කරන ලද ප්‍රයත්නයකි. මෙම "කොන්කිස්තදෝස් ග්‍රන්ථය ආගම්වාදී හෝ එවැනි අන්තවාදී කෝණයකින් යුතුව නොව විචාරාත්මක බුද්ධියකින් කියවිය යුතු ග්‍රන්ථයකි.  

 යේසුස් ක්‍රිස්තුස් නැමැති ඒ උතුම් ධාර්මික පුද්ගලයා කුරුස ගසේ ඇණ ගසා මරා දැමීමෙන් පසුව මතුවූ ක්‍රිස්තියානි පුනරුදය තමන් ගේ බලය පැතිරවීමට මෙවලමක් කර ගැනීම සඳහා නොයෙකුත් පුද්ගලයන් සහ ආයතන ඉතිහාසයේ විවිධ අවස්ථාවල මතු විය​. එම පුද්ගලයන් , ආයතන සහ රාජ්‍ය මගින් ක්‍රිස්තියානි ධර්මය ප්‍රචලිත කිරීම සඳහා ගත් හිංසාජනක ක්‍රියා මාර්ග වලින් මිනිසුන් දස දහස් ගනනක් මරු දුටුහ​. මෙය ඉතිහාසයේ සදාතනික කළු පැල්ලමකි.   

ක්‍රිස්තියානි ආගම යනු මුල් කාලයේ පීඩිත ජනයාගේ ආගමක් වූ බව ෆෙඩරික් නීට්ශේ විසින් කියා තිබේ. නමුත් පීඩිත ජනයාගේ ආගම පසු කාලයක බලලෝභීන් විසින් පීඩක  ආයුධයක් කර ගැනීමේ මෙහෙයුම් වලින් ඉතිහාස පොත පිරී තිබේ. උදාහරණයක් ලෙස Spanish Inquisition හෙවත් ස්පාඤ්ඤයේ 1478 දී ස්ථාපිත කරන ලද  කතෝලික විනිශ්චය සභා  මගින් විවිධ ආගමික චෝදනා මත  සාපරාධී ලෙස මිනිසුන් අති විශාල පිරිසක් වධයට ලක් කිරීම මෙන්ම මරා දැමීමද සිදු කරන ලදි. මේ හැර  යුරෝපයේ පැතිරී ගිය මායාකාරියන් / මායාකරුවන් දඩයම් කිරීම  (witch hunt  ) මගින් පණ පිටින් මිනිසුන් පුළුස්සා දමන ලදි. මේ වින්දිතයන් අතර මානසික රෝගීහුද වූහ​. මානසික රෝගීන් පවා සාතන් ගේ ඒජන්තයන් කියමින් පුළුස්සා දැමීමට යුරෝපයේ ක්‍රිස්තියානි බලධාරීන් ක්‍රියා කළහ​. නමුත් මේ කාලයටත් පෙර ලංකාවේ බුද්ධදාස වැනි රජවරුන් රෝහල් තනා මානසික රෝගීන්ට ප්‍රතිකාර කළ බවට සාධක තිබේ. ​. එවැනි අතීතයක් තිබූ සමාජයක් යුරෝපීය මුහුදු කොල්ලකරුවන් විසින් යටිකුරු කරන ලද අන්දම කොන්කිස්තදෝස් පෙන්වා දෙයි.  

යටත් විජිත යුගය එන විට පල්ලියේ ආශිර්වාදය සහිතව යුරෝපීය මුහුදු කොල්ලකරුවන් අසියාවේ , අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ රටවල් රිසි සේ කොල්ල කන ලදි. එසේම දේශීය ජනයා ජන ඝාතනයන්ට ලක් කරන ලදි.  අවශේෂ ජනයා ක්‍රිස්තියානියට හරවා ගැනීම සඳහා මිශනාරීන් විසින් විවිධ උපක්‍රම අනුගමනය කළහ​. 

මිශනාරීන් විසින් ඕස්ටෙ‍්‍රලියාවේ , ඇමරිකාවේ සහ කැනඩාවේ ආදීවාසීන් මරා දමන ලද්දේ ආයුධ මගින් පමණක් නොව වසූරිය රෝගීන් ගේ රෙදිපිළි පවා බෙදා දීමෙනි. ඉන්පසු අදිවාසීන් ගේ දරුවන් නේවාසික පාසල් වලට ගාල් කොට ඔවුන්ට ක්‍රිස්තියානී දහම කවනු ලැබීය​. මෙම නේවාසික පාසල් වලදී මිශනාරීන් විසින් ළමුන් ලිංගිකවද අපයෝජනය කරන ලද බව පසුකාලීන සාක්ශි මගින් හෙලි වී තිබේ.  

 මෙම ක්‍රියාවලිය ලංකාවේ සිදු කරන ලද ආකාරය "කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම” ග්‍රන්ථය පැහැදිළි කරයි. එය ඉතාම වේදනාකාරී සිදුවීමකි.  ක්‍රිස්තියානි ආගමේ නාමයෙන් ජෙනරාල් අසවේදෝ වැන්නවුන් දේශීය ජනයා සංහාරයට ලක් කිරීම​, කිඹුලන්ට විසි කිරීම​, බිළිඳුන් උඩ දමා කඩුව ඇල්ලීම , සිංහල තරුණයන්ට තමන් ගේ මව්වරු ප්‍රසිද්ධියේ දූෂණය කිරීමට බල කිරීම  වැනි හිංසක ක්‍රියා මගින් ආගමට හරවා ගන්නා ලදි. වර්තමාන සිංහල කතෝලික ජනතාව තම මුතුන් මිත්තන් ලක් වූ හිංසනය ගැන දන්නේ ඉතාම අල්ප වශයෙනි.  

 සිංහල ජනතාව අතර පමණක් නොව දමිල ජනතාව අතරද පෘතුගීසීන් ආගම ප්‍රචාරය සඳහා යොදා ගන්නා ලද්දේ මෙවැනි අන්දමේ භීෂණයකි. යාපනය විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් මහතා විසින් පෙන්වා දෙන ලද අන්දමට යාපනයේදී  පෘතුගීසීන් විසින් දමිල ජනතාව ආගමට හරවා ගැනීමට කල ජන සංහාරය  තවමත් දමිල ජනතාවගේ සාමූහික අවිඥානයේ තැන්පත් වී තිබේ.     

"කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම”  ආවේගශීලීව නොව විචාර බුද්ධියෙන් කියවිය යුතු පොතක් බව  අවසාන වශයෙන් සටහන් කරමි.  

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook