Friday, November 14, 2014

Lamborghini





                   සැන්ට බාබරාහී යාචකයා 




සැන්ට බාබරා නගරයට මම අතිශයින් ප‍්‍රියකරමි උණුසුම් කැලිෆෝනියානු ක`දුකර සුළෙඟ් සහ හිරු රශ්මියේ පහස ලබන වෙරළට ඇළුම් නොකරන්නෝ කවරහුද? මමද එවැනි සාමාන්‍ය ජනයාට අයත් වූ තැනැත්තෙක්මි. මේ නිසා මා සැන්ට බාබාරා නගරයට ප‍්‍රිය කිරීම අරුමයක් නොවේ. මුහුදේ පිහිනා වෙරලේ වැතිරී දහවල් කාලය ගත කිරීමට අගනා ප‍්‍රදේශයක් ලෙස මම සැන්ට බාබාරා වෙරළ තීරය හඳුනා ගතිමි. එසේම සවස් වරුවේ හෝටලයකට වැදී මාර්ටිනී තොලගාමින් අලංකාර ලෙස ඇඳ පැළඳගෙන සිටින ජනයා දෙස බැලීමද සතුට දනවයි. මියාමි, ලෝං බීච් වැනි දැකුම්කළු ස්ථාන වල මා කාලය ගත කොට සිටි නමුදු සැන්ට බාබරා දැනට මටම අයත් වූ භූමි ප‍්‍රදේශයක් ලෙස සලකමි. මේ අනුව එම භූමියට මා තදින් බැඳ තබන අදිසි නූල් ජාලාවක් තිබේ.

මෙවර මා සැන්ට බාබරා වෙත පැමිණියේ සැන්ඩියේගෝ නගරයේ සිට ය. නිසි රැුකියාවක් නොමැති වුවද වෙළෙඳ ප‍්‍රවර්ධකයෙකුගේ සිට දේපල මිළදී ගන්නා අතරමැදියෙකු ලෙසටද රක්ෂණ සමාගම් සඳහා ගණුදෙනුකරුවන් සපයන්නෙකු ලෙසටද යනාදී විවිධ රැුකියාවල මම නිරත වූයෙමි. මාගේ රැකියා ස්වභාවය අනුව නොයෙක් නගර වලට යාමත් ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පරිදි ගමන් බිමන් වල යෙදීමටත් මට නියමිතව තිබුණි. බොහෝ අවස්ථා වලදී මම සැන්ට බාබරා වෙත ආවෙමි. එ් පැමිණි සෑම අවස්ථාවකදිම ලාභ නවාතැනක දින කිහිපයක් නැවතී සිටීමටත් විවේක වේලාවලදී වෙරළේ ඇවිදීමත් කළෙමි. එලෙස නැවතුණු බොහෝ අවස්ථාවලදී විශ‍්‍රාම ගැනීමෙන් පසු ජීවිතයේ සැදෑ සමය සැන්ට බාබරා ගත කළ යුතු බව අවධාරණය කළෙමි.

මෙවර මා සැන්ට බාබරා වෙත පැමිනීමට තුඩු දුන්නේ විශේෂ කරුණක් නිසාවෙනි. සැන්ඩියේගෝ හී ධනවත් තරුණ ව්‍යාපාරිකයෙක් සැන්ට බාබරා නගරයෙන් අගනා ගිම්හාන නිවසක් මිළට ගත් අතර ඔහුගේ ලැම්බොගිනි වර්ගයේ මොටර් රථය කිසිදු සීරීමකින් තොරව සැන්ඩියේගෝ සිට සැන්ට බාබරා දක්වා රැුගෙන යාමේ කොන්ත‍්‍රාත්තුව මා වෙත බාරදුන්නේය. මෙම ධනවත් ව්‍යාපාරිකයා එම කාර්යය සඳහා මා තොරා ගනු ලැබුවේ මා ඔහුගේ පියාට ඉටුකර තිබූ ගණුදෙනුවක් නිසාය. මීට වසරකට පමණ උඩදී කෙරුණු එය සඳහා මම ඔහු සමඟ ඩැලස් කරා ගියෙමි. පුරා දින දෙකකට ආසන්න කාලයක් ගතවූ මෙම ව්‍යාපාරික චාරිකාවේදී මම ඔහුගේ ෆෙරාරි රථය ධාවනය කළෙමි. මා දක්ෂ රියදුරෙකු ලෙස මා කිසි කළක දැන සිටියේ නැති වූවද, ඔහු මා රිය ධාවනය කළ අයුරු, නිසි මංතීරු ඔස්සේ පොලිස් රථවල අවධානයට ලක්නොවී ගමන් ගත් අයුරු තීක්ෂණව නැරඹුවා විය හැක. එසේම අනවශ්‍ය අවදානම් නොගැනීමත් පමණ ඉක්මවා වේග සීමා උල්ලංඝණය නොකිරීමත් ඔහුගේ සිත් ගත්තා විය හැක. ඩැලස් දක්වා අප ගිය ගමන ඉතාම විනෝදකාමී විය. තරුණ කාලයේදී ඩැලස් හී ඔහු ගත කළ ජීවිතයත්, ඔහුගේ ආලවන්ත රූබර මිතුරියන් ගැනත් රසවත් තොරතුරු ඔහු කීය.

මෙම ව්‍යාපාරික චාරිකාවෙන් පසු ද කිහිප විටක් ඔහු මා සමඟ දුරකථනයෙන් කථා කොට ඇත.අවසාන වතාවේදී සිදුවූ සංවාදයේදී ඔහුගේ පුතාට අයත් අගනා මොටර් රථය සැන්ට බාබරා වෙත පදවාගෙන යා හැකි දැයි විචාළේය. මේ සඳහා ඉතා හොඳ මෙන්ම නිර්ලෝභී ගණුදෙනුවක් අතට ලැබෙන හෙයින් මම ඊට එකඟ වූයෙමි. අපගේ සංවාදයෙන් දින තුනකට පසුව මම මහල්ලාගේ පුතා හමුවූයෙමි. ඉතා ජේත්තුකාර ලෙස ඇද පැළඳ සිටි ඔහු මිතුරෙකුට අමතන්නාක් මෙන් මා සමඟ කථා කළේය. ඔහුගේ නම ඩෙනිස් බවත් පියා (ඇලන් ෂේපර් මහතා* ගේ රෙකමදාරුව මත ඔහුගේ තාවකාලික සේවයට මා යොදාගන්නා බවත් ඔහු කීය. ඔහු තම පියාගේ වචනය කොතෙක් විශ්වාස කළේද යත් මාගේ රියදුරු බලපත‍්‍ර හෝ වෙනයම් හැඳුනුම්පතක් හෝ පරික්ෂා නොකළේය. ස්කොච් වීදුරුවකින් මට සංග‍්‍රහ කළ ඔහු අත්තිකාරම් වශයෙන් ඩොලර් අටසීයක් මා අත තබා ගමනාන්තයේදී තවත් ඩොලර් දහසක් මා අත තබන බවට පොරොන්දු විය.

මේ මා නොසිතූ වාසනාවකි. ඩෙනිස් ෂේපර් ගේ ඉන්ධන වලින් ඔහුගේ සුඛෝපභෝගී කාමුක ලැම්බෝගිනී මොටර් රථය සැන්ඩියේගෝ සිට මා අතිශයින්ම ප‍්‍රියකරන සැන්ට බාබරා කරා ගෙන යාම සිතීම පවා ප‍්‍රීතිය උපදවයි. ඔහුගේ නියමය පරිදි මා සැන්ඩියේගෝ සිට සෙඩෝනා දක්වා මොටර් රථය ගෙන යා යුතුය. අමුත්තන් වාහනයට නංවා ගැනීම, වාහනය නවතා බැහැරට යාම, සපුරා තහනම් වෙයි. කිසිදු ලිඛිත පත‍්‍රිකාවක අත්සනක් නොතබාම මම ඔහුගේ කොන්දේසි වලට එකඟතාව පළ කළෙමි. මේ පොරොන්දු රකින බවට මා අධිෂ්ඨාන කළ බව මෙහි දී කිව යුතුය.

''ඉතින් මැක්ලවුඞ් මහතාණෙනී” ඔහු මා ඇමතුවේ පෙළපත් නාමයෙනි.

''මා අතිශයින්ම ප‍්‍රිය කරන මොටර් රථය ඔබගේ භාරයට දෙනවා. එය හරියට මවක තම දරුවා අන්‍ය පුද්ගලයෙකුට තාවකාලිකව භාර දෙනවා වැනි දෙයක් මේ රථය මට දරුවෙකු වගේ. ඇත්තෙන්ම ඔබ හමුවීම වාසනාවක්. මා දස අතේ කල්පනා කළා මේ මෝටර් රථය සුරක්ෂිතව සැන්ට බාබරා වෙත ගෙන යාම පිළිබඳව, ප‍්‍රවාහන සමාගම් විශ්වාස කරන්න බැහැ. මා හිතන්නේ ඔබ දෙවියන් විසින් මා වෙත එවනු ලැබූ අයෙකු බවයි.”

සාමාන්‍ය මිනිස් දුබලතා වලින් යුතු මා වැනි පුද්ගලයෙකු දෙවියන් විසින් එවීම පිළිබඳ මම මොහොතකටවත් විශ්වාස නොකළෙමි. සත්‍ය පවසතොත් මා ඩෙනිස් ෂේපර් මහතා වෙත එවීම දෙවියන් විසින් මට ලබා දුන් තිළිණයකි. එ් මන්ද යත් අවසාන සති කිහිපය මා ජීවත් වූයේ යාන්තමිනි. උගුර තෙමා ගැනීමටවත් මුදල් මා අත ඉතිරි නොවීය. ඉතා නිර්ලෝභීව ගෙවන ගණුදෙනුව නිසා මාගේ සිත කුල්මත් විය.

''හොදයි මා සිතනවා දෙවි පිහිටෙන් ඔබ කිසිදු අනතුරකින් තොරව නියමිත නැවතුම්පළ කරා යාමට හැකිවේවි කියා. මෙන්න ඔබගේ අත්තිකාරම් මුදල්. සුභ ගමන්.” මෙලෙස කියමින් ඩෙනිස් ෂේපර් මට අත දුන්නේය. එවිට ඔහු අතේ පැළද සිටි රොලෙක්ස් ඔරලෝසුව මම දුටිමි.

මම ඔහුට ස්තූතිවන්ත වෙමින් කිසිදු පීඩනයක් සිතට ළඟාකර නොගන්නා ලෙසටත් නියමිත පරිදි මෝටර් රථය ඔහුගේ ගිමිහාන නිවසේ බටලේරුවාට භාර දෙන බවට පොරොන්දු වූයෙමි. එවිට සතුටින් පිනා ගිය ඔහුගේ දෑස් දිලිසෙනවා මම දුටුවෙමි. ඉන් අනතුරුව මම ඩෙනිස් ෂේපර්ගේ වාහනයේ යතුර අතට ගත්තෙමි.

ඩෙනිස් ගේ ලැම්බොගිනී රථය මා මෙතෙක් ධාවනය කොට ඇති රථ වලින් අගනාම රථය විය යුතුය. එම මෝටර් රථයේ පැහැය, හැඩය සියල්ලම මනබදනා සුළුය. කිසිදු කෑගැසීමක්, ගැස්සීමක් නොමැතිව රථය පණගැන්වීමට මට හැකිවිය. එයද ඩෙනිස් ගේ සතුටට හේතුවූවා
නිසැකය. ඩෙනිස් ගේ නිවසේ සිට මහාමාර්ගය දක්වා මද වාහන තදබදයක් තිබුනද ප‍්‍රමාදයකින් තොරව මම මහාමාර්ගයට අවතීර්ණ වූයෙමි. අධිවේගී මාර්ගයේ නියමිත මංතීරුවේ මා රථය ධාවනය කළෙමි. නිදහසේ සතුටින් පියාසර කරන කුරුල්ලෙකු බඳු හැඟීමක් මට ඇති විය. මෙම සතුට සැමදා තිබේනම් මෙලොව කොතරම් වාසනාවන්ත විය යුතුද? සෙඩෝනා දක්වා ගිය ගමන අතිශයින්ම විනෝදය ගෙන ආවේය.

සෙඩෝනා හී ඩෙනිස් ෂේපර්ගේ උපකාර්යාලය සොයාගැනීමට මදක් ප‍්‍රමාද වුවද අවට ජනයා මොටර් රථය දෙසත් මා දෙසත් බැලීම නිසා අමුතු ගෞරවයක් සිතට ඇතුළු විය. මහා මාර්ගය අද්දර වාහනය නතරකොට මා කා©්‍යාලය පිහිටා තිබූ ක්‍රෙසන්ට් ඩ‍්‍රයිව් පිළිබඳව රූබර
තරුණියකගෙන් විචාලෙමි.

''ඔබට අවශ්‍ය ක්‍රෙසන්ට් ඩ‍්‍රයිව්ද?” ඇය අලංකාර සිනහවක් පා වාහනය අසලට පැමිණියාය.

''එය සොයාගැනීම අපහසු නෑ.” ඇය වාහනය දෙස බලමින් පැවසුවාය. ”කෙලින්ම යන්න දෙවැනි සංඥ එළිය සමඟම වමට පාරක් තිබෙනවා. ඒ පාරේ ඔබට දක්නට ලැබෙයි විශාල පල්ලියක්. එ් පල්ලියට යාබද ගොඩනැගිලි සියල්ලම ආරම්භ වන්නේ ක්‍රෙසන්ට් ඩ‍්‍රයිව් වෙතින්.”

මම ඇයට ස්තූතිය පුද කළෙමි. මෙවැනි තරුණියක සමඟ මෙම රථයේ නැගී ගමනක් යාමට හැකිනම් එය කොපමණ චමත්කාරද? මම ඩෙනිස්ට වූ පොරොන්දුව සිහිපත් කළෙමි.

‘‘ස්තූතියි! ඔබ හරිම හුරතල්” මා තරුණියට ප‍්‍රශංසාකළේ අවංකවමය.

යළිත් වාහනය පණගන්වා මා ඉදිරියට ඇදීගියේ සිංහයෙකු විලසිනි. මා දර්ශණ පථයෙන් ඉවත්ව යන තෙක් ඇය බලා සිටින්නට ඇතැයි මට සිතුණි.

තරුණියගේ උපදෙස් පරිදි මා ඩෙනිස්ගේ උපකාර්යාලය සොයා ගතිමි. එහෙත් ඔහුගේ කළමණාකරු මාගේ සිත් නොගත් බව කිව යුතුය.

‘‘ඔබ දැන් විවේක ගන්න. මට වාහනය පරික්ෂා කරන්න අවශ්‍යයි. මා හිතනවා ඔබගේ ලියවිලි සියල්ලක්ම නිරවද්‍යයි කියලා.” ඔහු බොස්ටන් වාසියෙකුගේ ඌරුවට කථා කළේය. ඔහුගේ ඉතාලියානු උච්චාරණයට සිනාසෙම්දෝ යන දෙගිඩියාව ඇති වුවද මා එය යටපත් කර ගත් අතර ඩෙනිස් ෂේපර් මහතා මගේ සියළු ලියකියවිලි පරික්ෂා කළ බවත් මම ඔහුගේ පියා හොඳින් හඳුනන්නෙකු බවත් කීවෙමි.

එහෙත් එය ඔහුට ඇසුනේද යන්න මම නොදනිමි. ඔහු මගේ ගමන් බලපත‍්‍රය ඉල්ලා සිටියේය. ඔහුගේ අණට කීකරුව මම සියළු ලියකියවිලි කළමණාකරුට දුන්නෙමි. ඔහු එ්වා පරික්ෂා කරන අතරතුර මම ඔහු දෙස බැලූවෙමි. ඉතාලියානු නාසය, දුඹුරු පැහැති සම මේ සියල්ල සිහිපත් කළේ බලෙන් රෝබට් ඞී නිරෝ වීමට උත්සහ දරණ මුග්ධයෙකු ගේ ලක්ෂණය.

කෙසේ වුවද ගැටළුවකින් තොරව ඔහුගෙන් මිදී විවේක ගැනීමට හැකිවීම සුවිශේෂි භාග්‍යයක් ලෙස මම සැළකුවෙමි. මා විවේක ගන්නා අතරතුර වාහනය සහ යතුර ඔහුගේ භාරයේ විය.

මෙක්සිකානු අවන් හලකට ගොඩවැදුණු මා මුලින්ම කළේ බියර් වීදුරුවක් පානය කිරීමයි. ආහාර ගැනීමෙන් පසු සුළු නිදිමතක් මට දැනිණි. ඩෙනිස්ගේ කර්යාලයට ගොඩවැදුණු මම අමුත්තන් පිළිගන්නා කාමරයේ ලොකු ඩිවානයක ඇලවී සිටියෙමි. වාසනාවකට මෙන් මුග්ධ
කළමණාකරු මට තවත් කරදර කිරීමට නොපැමිණියේය. පුරා පැය තුනක පමණ විවේකයෙන් පසු යලිත් පිටත්වී යාමට කාලය පැමිණ තිබුණි. මොටර් රථයේ යතුර මට භාර දෙන ලද්දේ කළමණාකරුගේ ලේකම්වරිය යැයි සිතිය හැකි කාන්තාවකි. ඇය මට යතුර භාර දෙන විට ඔබට කෝපි අවශ්‍ය දැයි ඇසුවාය. සත්තකින් එම අවස්ථාවේදී කොපි කෝප්පයක් තිබුනේ නම් මැනවි. මම එයට එකඟතාවය පළ කළෙමි.

ඇය කෝපි වත්කළේ අවන්හල්වල කෝපි වත්කරන වීදුරු කේතලයකිනි. ඇය එම කාර්යය කොතරම් හොඳින් කළේද යත් ජීවිතේ යම් කාලයක මෙම තැනැත්තිය අවන්හලක සේවය කොට තිබුණු බව මට සිතිණි.

‘‘ඔබට ක‍්‍රීම් අවශ්‍යද? ” ඇය ඇසුවේ අවන්හලේදී සේවාලාභියෙකුගෙන් අසන විලසටය. මා වඩාත් ප‍්‍රියකළේ කෝපි තද සාන්ද්‍රණයකින් යුතුව ගැනීමටය. අවශ්‍ය නම් ඇයට බ‍්‍රැන්ඩි ස්වල්පයක් කෝපි වලට එක් කිරීමට හැකියාව තිබුනද ඇය ක්ෂිරමය මිශ‍්‍රණය හැර අන් යමක් කෝපි කෝප්පයට එක් කිරීමට සූදානම් නැත.

‘‘නැහැ, ක‍්‍රීම් අවශ්‍ය නැහැ ” මම ආචාරශීලිව එය ප‍්‍රතික්ෂේප කෙළෙමි.

කෝපි පානය කිරීමෙන් පසුව ශරීරයට ප‍්‍රාණවත් ගතියක් දැනුනි. මම ඇයගෙන් සමුගෙන මෝටර් රථයට නැගුනෙමි. සෙඩෝනා පසු කරන විට හිරු රැස් වල දීප්තිය මදක් අඩුවිය. සැප පහසු ඔන්චිල්ලාවක පැද්දෙන්නාක් මෙන් මම කෙටි ධාවන මං තීරු ඔසුසේ සැන්ට බාබරා වෙත වැටී ඇති ධාවන මාර්ගයට අවතීර්ණ වූයෙමි. වංගු වලින් තොර අධිවේගී මාර්ගයක් වූ මෙම මාර්ගයේ ලැම්බොගිනි වාහනයක් පැදවීම නිතතින්ම ප‍්‍රීතිය ගෙන දෙයි.

සැන්ට බාබරා දක්වා කිසිදු ගැටළුවකින් තොරව වාහනය පදවාගෙන එ්මට මට හැකිවිය. සැන්ට බාබරා වෙත ලඟා වී තවත් පැය කිහිපයකින් මෙම වාහනය මගෙන් වෙන්වී යනු ඇත. අවසන් තප්පරය දක්වා මේ ප‍්‍රිය ජනක වස්තුව සමග දැවටී සිටීමට මට අවශ්‍ය විය.

මම වාහනය කුඩා එළිමහන් හෝටලයක් ඉදිරිපිට නතර කෙළෙමි. මා රථයෙන් බැස්සේ මා වෙත යොමු වූ ඇස් කීයක් තිබේද යන්න සිතමිණි. මදක් ඈත මේසයක සිටි තරුණියන් දෙදෙනෙකු මා දෙසත් වාහනය දෙසත් බලනවා මම දුටිමි. ඩෙනිස්ගේ වාහනය පෙනෙන මානයේ අසුනක මා වාඩිවූයෙමි. අවුරුදු දහ අටක් පමණ වයසැති තරුණියක් මදහස පාමින් මා වෙත පැමිණියාය. ඇය එම හෝටලයේ වේටර් වරියකි. මම මදක් මිලෙන් අධික වයින් බෝතලයක් ඇණවුම් කෙලෙමි.

හෝටලයේ එළිමහනේ මේසයක සිට තඹ පැහැති වයින් තොල ගාමින් ලැම්බොගිනි රථය දෙස බලා සිටි මා දිස්වන්නට ඇත්තේ නගරයට අලූතින් පැමිණි ධනවතෙකු ලෙසටය. සැබවින්ම එය ප‍්‍රීතිමත් අවස්ථාවකි. එහෙත් තවත් පැය කිහිපයකින් මා යළිත් පැරණි පුද්ගලයා වනු ඇත. අනාගතය මොහොතකට අමතක කළ මම වර්තමානයේ සැරි සැරුවෙමි. මාගේ සිහින ලෝකයට බාධා පැමිණුනේ මාගේ මේසය අසලට පැමිණි අනාරාධිත මහල්ලෙකු නිසාය.

‘‘මෙසියර් ඔබට කරදර කලාට බොහොම කණගාටුයි.” මහල්ලා උඩුකය නවා යාබද අසුනේ වාඩි වීමට අවසර පැතුවේය. එය ප‍්‍රතික්ෂේප කිරීමට මට නොහැකි විය.

‘‘ඔබ සැන්ට බාබරාවට අමුත්තෙකු හැඩයි.” ඔහු කීවේය.

මා සැන්ට බාබරාවට අමුත්තෙකු නොවන බවත් මෙම නගරයට කිහිප වතාවක් පැමිණි අයෙකු බවත් කීවෙමි.

‘‘සමාවෙන්න මා සිතුවේ ඔබ ලාස් වේගාස් කරා යන්නෙක් කියා. ” මහල්ලා පැවසීය.

නිසැකයෙන්ම මා වාහනයෙන් බට අයුරු ඔහු දකින්නට ඇත. මා සුපිරි ධනවතෙකු බව මහල්ලා සිතන බව මට වැටහිණි. එහෙත් මා ඔහුගේ එම අදහස අභියෝගයට ලක් නොකළේ එවැනි මායාවක්ද මාගේ හිතේ රෝපණය වෙමින් පැවති නිසාවෙනි.

‘‘ලාස් වේගාස් වලට වඩා මෙහේ කොච්චර මනස්කාන්තද? මට මතකයි ගෝන් විත්ද වින්ඞ් චිත‍්‍රපටය නිෂ්පාදනය කළ සමයේ මා වරක් සැන්ට බාබරා වෙත පැමිණියා. එය මගේ මුල්ම ගමනයි. ඔබ එම චිත‍්‍රපටය ගැන දන්නවද?”

මා එම චිත‍්‍රපටය නැරඹුවේ රූපවාහිනියෙනි. ගෝන් විත්ද වින්ඞ් පරම්පරාවෙන් පසුව උපත ලැබූ අප ක්ලාක් ගේබල් විරුවෙකු ලෙස සැලකුවේ නැත. එහෙත් මහල්ලාට ඔහු වීරයෙකි.

‘‘ඔබ දන්වාද මා එම චිත‍්‍රපටයේ සුළු චරිතයක් කළ බව. ඕ කොතරම් රන් කාලයක්ද? ක්ලාක් ගේබල් රඟපාන විට චිත‍්‍රටයේ පසුතළ දර්ශන සඳහා ගස් කපාගෙන විත් කෘත‍්‍රිම වනයක් සෑදුවා ඉතාම හොඳ චිත‍්‍රපටයක්, ප‍්‍රීතිමත් සමයක්..” මහල්ලා කීවේ උද්දාමයෙනි.

මා මෙතෙක් මහල්ලා සමඟ වචනයක් හෝ කථා නොකල නිසා එය අශිෂ්ඨ යැයි මට සිතුණි. එ් නිසා ඔහුගෙන් යමක් විමසීම වඩාත් සුදුසුය.

‘‘එසේ නම් ඔබ හිටපු හොලිවුඞ් නළුවෙක්”

‘‘ඒත් සම්පූර්ණයෙන්ම නොවෙයි.” මහල්ලා පිළිතුරු දුන්නේය.

‘‘මා කළේ සුළු අත්වැඩ. ඉන්පසු ජනයා අවශ්‍ය දර්ශන වලදී සමූහයා සමඟ රඟපෑවා. සිසිල් බී ඩිමෙල්ගේ ටෙන් කමාන්ඞ්මන්ට්ස්හි හීබෲ වහලෙක් ලෙස රඟපෑවා. මට චාල්ස්ටන් හෙස්ටන් හමුවී තිබෙනවා, ඒත් ඔහු අමුතු පුද්ගලයෙක්. මම ඔහුට කැමති නැහැ. එ්ත් රෝයි රොජස් ඉතා යහපත් මනුෂ්‍යයෙක්. ඔහු මට උපකාර කළා. ඔහු නිතරම මට කිව්වා ඒජන්ත කෙනෙක් සොයා ගන්න කියා. ඔබ දන්නවද නළුවෙකු වෙන්න නම් මේ එ්ජන්ත කෙනෙකු සිටින්නට අවශ්‍යයි. ඒත් එ් කාලයේ මට ඒවගක් වැටහුනේ නැහැ. සුළු සුළු චරිත රඟපෑවා, විනෝද උනා, දන්නෙම නැතුව කාලය ගියා. දැන් මා වගේ නාකියෙකු අවශ්‍ය කාටද?”

එහෙත් හොලිවුඞ් පුරවරයෙහි මහළු චරිත රඟපෑම සඳහා ද පුද්ගලයන් අවශ්‍ය කෙරෙන බව කීමට මට සිත් විය. මා එ් බව නොකිව්වේ මේ මහළු මිනිසා මා වරදවා වටහා ගනී යැයි සිතූ නිසාය. එ් හැර ඔහු කෙරෙන් විස්කි සුවඳක් හැමීය. ඔහු බේබද්දෙකු බව මට වැටහිණි. ලාභ ඩොනල්ඞ්ස් විස්කි වැනි විස්කි වර්ගයක් පානය කරමින් ඉබාගාතේ යන මහල්ලා මට වදයක් නොවුයේ මන්දැයි විමතියකි.

‘‘මට යන්නට වෙලාව හරි” මා අත් ඔරලෝසුව දෙස බැලූවෙමි.

‘‘සුභ ගමන් මෙසියර්..” ඔහු මට ගරු කරනු වස් පුටුවෙන් නැගී සිටියේය.
මම ඔහුට සිනහවකින් සංග‍්‍රහ කොට ලැමිබෝගිනී රථය වෙත ගියෙමි. වාහනයට නැගී ෙදාර වසා ගන්නට යත්ම මහල්ලා වාහනය අසලට පැමිණියේය.

‘‘මෙසියර් අමනාප නොවී මට ඔබගේ සාක්කුවේ ඇති සිල්ලර කාසි ටිකක් විසිකරනවද?”

ඔහුගේ වචනයට සාක්කුවට අත දැමූ මට අතට අසු වුනේ ඩොලර් විස්සේ නෝටිටුවක් පමණි. ඩොලර් විස්සක් යනු මා වැනි පුද්ගලයෙකුට ලොකු මුදලක් බව කිය යුතුද? ඇතැමි දිනවල මම යන්තම් ඩොලර් දහයකින් වේලක් ගත කොට අත්දැකීම් ඇත්තෙමි. එම නිසා ඩොලර් විස්සේ නොට්ටුවක් මහළු පුද්ගලයාට දෙන්නේ කෙසේද?

මම මොහොතක් කල්පනා කළෙමි. මහල්ලාගේ දෙනෙත්, ලැමිබෝගිනී රථය, සැන්ට බාබරා නගරය, අලංකාර ලෙස ඇද පැළඳ ගත් ජනී ජනයා. මම ක්ෂණයකින් වාහනයේ ෙදාර වසා එන්ජිම පණ ගැන්නූයෙමි.
මහල්ලා මදක් පසකට විය. ඔහුගේ මුහුණේ බලාපොරොත්තු කඩ වූ සේයාවක් තිබේ.

මම රථයේ රියදුරු අසුන අසන්නයේ ඇති ජනේලය පහත් කළෙමි. ඩොලර් විස්සේ නොට්ටුව අතට ගත් මා මහල්ලාට හිසින් සංඥ කොට එය ඔහු අත තැබුවෙමි.

‘‘බොහොම ස්තූතියි මහත්මයා ඔබට දෙවි පිහිටයි.” මහල්ලා මට ස්තුති පිදීය.

මද සිනහවක් පා මා වාහනයේ ජනේලය වැසී යන සේ බොත්තම එබුවෙමි. නියමිත පරිදි ගමනාන්තයට ලඟාවූ මම වාහනය ඩෙනිස් ෂේපර්ගේ බටලේරුවාට භාර දුන්නෙමි. ලැමිබොගිනිය මගෙන් මිදී ගියද මට දුකක් දැණුනේ නැත. එයට හේතුව මා අවසානය ගැන දැන සිටි නිසාය. එම වාහනයේ මා තාවකාලික භාරකරුවා වූවා පමණි. කොන්ත‍්‍රාත්තුව නිම කිරීමෙන් පසුව මට හිමි මුදල්ද මා ලබාගත්තෙමි.
වාහනය භාර දීමෙන් පසු මා දින දෙකක් පමණ සැන්ට බාබරා හී ලාබ හෝටලයක ලැගුම් ගෙන සිටියෙමි. ඒ දින අතරතුර හෝ ඉන් පසුව සැන්ට බාබරා වෙත පැමිණි අවස්ථාවලදී වත් මට මහල්ලා මුණනොගැසුණි.


 වෛද්‍ය රුවන් එම්. ජයතුංග

7 comments:

  1. Why thi font? This is not unicode? Cant read on my phone.

    ReplyDelete
  2. පිරි ලැම්බොගිනි මෝටර් රථ ඉතාලි නිෂ්පාදනයක් වන අතර එහි මූලස්ථානය ඉතාලියේ Sant'Agata Bolognese හි පිහිටා ඇත. මෙහි නිර්මාපකයා වන්නේ ඉතාලි ජාතිකයෙකු වූ Ferruccio Lamborghini මහතාය. ඔහු 1945 දී පමණ කුඩා ගරාජයක (Garage) ට්‍රැක්ටර් රථ ( Tractors ) නිෂ්පාදන ඇරඹූ අතර එමගින් හා තවත් ව්‍යාපාර නිසා 1960 ගනන් වන විට මහත් ධනවතෙකු බවට පත්විය

    ReplyDelete
  3. මහත්මයා, මෙය ඔබගේ නිර්මාණයක්ද නැතහොත් උපුටා ගැනීමක් හෝ පරිවර්තනයක්ද? මීට වසර ගණනාවකට කලින් මම මෙම රචනාව ඉරිදා දිවයින හෝ ඉරිදා ලක්බිම පුවත්පතේ කෙටිකථා තීරයෙන් කියැවූවෙමි.

    ReplyDelete
    Replies
    1. Para Dige

      This short story is written by Dr Ruwan M Jayatunge . The story is from the book of short stories Santa Barbara he Yachayaka Athulu Thavath Ketikathaa (By Godage Publishers)

      Delete
  4. අපූරු කතාවක්. මේ පුද්ගලයා අවන්කවම තම සිතුවිලි කියා තිබෙනවා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook